වර්නියර් කැලිපරය - Vernier Caliper

 

වර්නියර් කැලිපරයක හනු පියවා ඇති විට පහත පරිදි තිබිය යුතුය.
  1. M සහ V පරිමාණවල 0 සලකුණු සමපාත වී තිබිය යුතුය.
  2. ඇතුළු හනුවල දාර ස්පර්ශ වී තිබිය යුතු අතර බාහිර හනුවලද දාර ස්පර්ශ වී තිබිය යුතුය.
  3. කුරේ තුඩ අචල හනුවේ දාරයට සමපාතවේ.
  4. මුරිච්චිය බුරුල්කර රෝදයක කරකැවීමෙන් සචල හනුව අචල හනුව දිගේ සර්පනය කළ හැකිය. එවිට බාහිර හනුවත්, ඇතුළු හනුවත්, ගැඹුර මනින කුරත් එක සමාන දුරක් ගමන් කරයි. 
  5. පාඨාංකය කියැවීමේදී මුරිච්චිය තදකර සචල හනුව සිර කරගත යුතුයි.

වර්නියර් කැලිපරයක කොටස්

                  1. අභ්‍යන්තර / ඇතුළු හනු                              5. රෝදය
                  2. බාහිර / පිටත හනු                                      6. මුරිච්චිය
                  3. වර්නියර් පරිමාණය (V)                             7. ගැඹුර මනින කූර
                  4. ප්‍රධාන පරිමාණය  (M)

වර්නියර් කැලිපරයේ භාවිත 

1. බාහිර හනු භාවිතය :- 
  දෘඩ වස්තුවක දිග, ගෝලයක/නලයක බාහිර විශ්කම්භය මැනීමට බාහිර හනු භාවිතා කළ හැක. නලයක, ගෝලයක  සීරිම්, කඩතොලු වීම් නිසා සෑම දිශාවක් ඔස්සේම විෂ්කම්භය ඒකාකාර නොවිය හැක. එමනිසා නළයක එකිනෙකට ආනත දිශා තුනක් ඔස්සේ ද ගෝලයක නම් එකිනෙකට ලම්බ දිශා තුනක් ඔස්සේ ද විෂ්කම්භය මැන සාමාන්‍ය ගැනීමෙන් විෂ්කම්භය සඳහා වඩා නිවැරදි අගයක් ලබාගත හැකිය.

2. ඇතුළු හනු භාවිතය :- 
      දෘඩ වස්තුවක, සිදුරක/විවරයක පළල, දෘඩ නලයක අභ්‍යන්තර විෂ්කම්භය මැනීමට 
ඇතුළු හනු භාවිතා කළ හැක. ඒ සඳහා ඇතුළු හනු දෙක සිදුර/විවරය තුලට ඇතුලු කර දෙපස බිත්ති වල ස්පර්ශ වන තෙක් ඇතුළු හනු දෙක ඈත් කළ යුතුය. නළයක නම් එකිනෙකට අනත දිශා තුනක් ඔස්සේ අභ්‍යන්තර විෂ්කම්භය මැන සාමාන්‍ය ගැනීමෙන් අභ්‍යන්තර විෂ්කම්භය සඳහා වඩාත් නිවැරදි අගයක් ගත හැකිය.

3. ගැඹුර මනින කූර භාවිතය :-
පටු සිදුරක ගැඹුර මැනීම සඳහා කූර භාවිතා කළ හැක. ඒ සඳහා වර්නිය කැලිපරයේ කුරේ තුඩ සිදුර පතුලේ යන්තම් ස්පර්ශ වන තෙක් පහත් කළ යුතුය.

හනු අතර සිරවීමෙන් හැඩය වෙනස්වීම නිසා රබර් නලවල, ධ්වනිමාන කම්බිවල (විතාර කම්බි) විෂ්කම්භ මැනීමට වර්නිය කැලිපරය සුදුසු නැත. කේශික නලයක සිදුරේ විෂ්කම්භය මැනීමටද වර්නිය කැලිපරය යොදාගත නොහැක.

මූලාංග දෝෂය

නිවැරදි වර්නිය කැලිපරයක හනු පියවූ විට M හා V පරිමාණ වල 0 සලකුණු සමපාත වෙයි. එහෙත් කල් යාමේදී මලකඩ කෑම, අපද්‍රව්‍ය තැන්පත් වීම, පතුරු ගැලවීම වැනි හේතු නිසා හනු පියවූ විට M හා V පරිමාණවල 0 සලකුණු සමපාත නොවේ. එවිට උපකරණයෙහි මූලාංග දෝෂයක් ඇතැයි කියනු ලැබේ. මූලාංග දෝෂ ආකාර දෙකකි.

1. M, ' 0 ' වඩා V,  ' 0 ' දකුණින් නතර වී තිබීමයි.
                  
මූලාංග දෝෂය  =  කුඩා මිනුම  ×  සමපාත රේඛාව

2. M, ' 0 ' වඩා V,  ' 0 ' වමෙන් නතර වී තිබීමයි.
         මෙය සෙවීම සඳහා පහත සමීකරණ දෙකම භාවිතා කළ හැක.
මූලාංග දෝෂය  =  ප්‍රධාන පරිමාණ කොටසක දිග  -  (කුඩා මිනුම  ×  සමපාත රේඛාව) 
මූලාංග දෝෂය  =  කුඩා මිනුම ×  (වර්නියර් පරිමාණයේ කොටස් ගණන - සමපාත රේඛාව)

එහෙනම් අදට පාඩම මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලන්ට මේකේ නොතේරෙන දෙයක් තියෙනවනම් පහලින් comment කරන්න. ඊළඟ කොටසින් හමුවෙමු.

Post a Comment

0 Comments